සිහින දනව්ව

තවත් එක් යෞවනයෙක්ගේ සටහන

Posts Tagged ‘Child Abuse

අනුෂා

with 10 comments

අනුෂා අපේ දහයේ වසරේ පන්ති නායිකාවයි.ටිකක් කලු උස මහත කෙල්ලෙක්.මට මතක හැටියට අනූෂාට කිතුල් රැනක් වගේ දිගට වැවුණ කොන්ඩයක් තිබුනා.එච්චරම කොල්ලොත් එක්ක ෆිට් එකක් නොතිබුනත් අනුෂා පන්තිය ඕනැම දෙකට කොල්ලොත් එක්ක හිටියා.හවසට කලු ලැල්ල කලු කරන්න කොල්ලෝ නතර වුණාම අනුෂා තමා හොස්ටල් එකෙන් තේ අරන් එන්නේ.ඉල ඇදෙන මල පනින විහිලු මොකක් කලත් අනුෂා ඒව එච්චර සිරියස් ගත්ත නැති කෙල්ලෙක්,අනුෂා නතර වෙලා හිටියේ ඉස්කෝලේ හොස්ටල් එකේ.හැබැයි අපි ඔක්කොම දැනන් හිටියා අනුෂා හුගක් දුෂ්කර පලාතකින් දුප්පත් පවුලක් ලමයෙක් කියලා.හෝදා හෝදා පට්ට ගැහිලා තිබුන සුදු ගවුමත් ලෙලි ගිහිල්ලා තිබුන සපත්තු දෙකත් දැක්කාම ඕන කෙනෙකුට ඒ බව හිතා ගන්න පුලුවන්.

මත මතක හැටියට දහය වසරේ දෙවන වාරය ආරම්භ වෙලා දවසකට දෙකකට පස්සේ දවසක් පන්ති භාර මිස් අනුෂාට එයාගේ කාමරයට කතා කලා.කාමරයෙන් එලියට එද්දී අනුෂා අවේ අඩ අඩා.ඊට  පස්සේ ඉස්කොලේදී අපි අයෙත් අනුෂාව දැක්කේ නැ.
දවසක් රෙද්දේ හැට්ටේ ඇද ගත්ත අම්ම කෙනෙක් ඇවිත් අනුෂාගේ අස්වීම් සහතිකේ අරන් ගියා.පස්සෙ අනුෂාගේ හොස්ටල් එකේ යාලුවාගෙන් තමා ඇත්ත විස්තරේ හෙලි වුනේ.එදා මිස් කතා කරන දවස වෙනකොට අනුෂා බඩ දරු අම්මා කෙනෙක්.අනුෂා බඩ දරු වෙලා තියෙන්නේ එයාට වඩා අවුරුද්දක් වැඩිමල් ගමේ කොල්ලෙකුට.පස්සේ අනුෂායි කොල්ලයි කසාද බැදලා ඒ කියන්නේ අනුෂාට පහලොවක් දහසයක් වෙන කාලේදී

ආයිත් මට අනුෂාව හම්බ වුනේ මීට දවස් කීපයකට කලින්.ඒ ටවුමේ ලමයි දෙන්නෙක් එක්ක කලන්තේ දාල වැටිලා ඉන්දෙද්දී.පුංචි කුරුලු පැටව් දෙන්නෙක් වගේ ලමයි අනුෂා ගාව දැවටි දැවටි ඉන්නවා.දැක්කාම ආදරේ බෑ.මමයි අම්මයි වතුර ටිකක් පොවලා පියවි සිහිය ආවම තමා අනුෂා මාව අදුරගෙන කතා කලේ.අනුෂා කියන විදියට අනුෂායි එයාගේ සැමියායි සැහෙන්න සතුටින් ජීවත් වෙලා තියෙනවා.අන්තිමට අනුෂාගේ සැමියා මේසන් බාස් කෙනෙක් වගේ රස්සවාක් කරගෙන පොඩි ගෙයකුත් හදා ගෙන පවුලත් එක්ක සතුටින් ජීවත් වෙලා තියෙනවා.

ඔය සතුටට කණ කොකා හැඩලුවේ පොලිසිය ඇවිත් අනුෂාගේ සැමියා අරන් ගියාට පසුවයි.අනුෂාගේ සැමියාගේ වැරද්ද තමා අනුෂාව අපයෝජනය ලක් කිරීම, නීතිය අනුව අඩු වයස් තරුණියක් විවාහ කර ගැනීම වරදක් අන්න ඒ වරදට ඊට අවුරුදු පහකට හයකට පස්සේ ලස්සන පුංචි කුරුළු කූඩුවක් විනාශ වුණා.අනුෂාගේ සැමියා අවුරුදු ගාණකට හිරේ ගියා .අනුෂාට සහ ඇගේ දරුවන්ට යන එන මං නැති වුණා.

අනුෂාව නීතී ආධාර කොමිසමට යොමු කලා ඊට අමතරව ගාමන්ට් එකක අදුරන කෙනෙකුට කියලා පොඩි රස්සාවකුත් හොයා දෙන්න බැරි කමක් නැ.හැබැයි අර ලමයින්ට යන කල දසාව ගැන කියන්න බෑ.නීතිය ඇත්තටම අන්ධයි ,වෙලාවකට හිතෙනවා නීතිය තියෙන්න මිනිස්සුන්ව ආරක්ෂා කරන්න නෙමේ මිනිස්සුන්ට තවත් ගිනි ගෙඩි දෙන්න කියලා.

Advertisements

ජංජාල කැෆේ සහ කැකිල්ලේ රජ්ජුරුවෝ

with 3 comments

ඩබ්ලිව් ත්‍රී ලංකා  අඩවියේ පසුගිය සටහන් දිවයින පුවත්පතේ පුවතක් උපුටා දක්වා සිටියේ කුරුණැගල ප්‍රදේශය තුල අවුරුදු දහ අටට වඩා අඩු වයසේ පසුවන්නන්ට අන්තර්ජාල පහසුකම් සපයන ස්ථානවලට ඇතුලු වීමේදී බලාත්මක කර තිබු “පොලිස් ” නීතියක් පිලිබදවයි.

මදක් පසු වී හෝ මෙවැනි ජංජාල කඩ කෙරෙහි අවධානය යොමු වීම යෙහිකි.ජංජාල කඩ එසේත් නැත්නම් ඉන්ටර්නෙට් කැෆේ යන අරුමෝසම් නාමයෙන් හදුන්වන ලබන අන්තර්ජාල සේවා හපයන මෙවැනි මධ්‍යස්ථාන බොහොමයක් තුල සිදුවන දෑ පිලිබද මේ සටහන කියවන පාඨකයන්ට එතරම් ආගන්තුක නොවේ.

නමුත් අද  මෙම සටහන වෙන්වනුයේ එම විගඩම් ගැන කතා කෙරුමට නොවේ.

උක්ත අඩවියේ සටහන් වූ ප්‍රවෘතිය අනුව එම පොලිස් අධිකාරීතුමා අන්තර්ජාලය සපයන ස්ථානයන්තුලට අවුරුදු දහ අටට වඩා අඩු පුද්ගලයන් ඇතුල්වීමේදී පිලි පැදිය යූතු නීතී පද්ධතියක් හදුන්වා දී ඇත.මෙහි සාකච්ඡාවට භාජනයක කලයුතු කරුණු කීපයක් ඇත.එනම් නිතීය(පාර්ලිමේන්තුව හෝ වෙනත් පාළන ඒකක විසින් අනුමත කරන ලද පනත් මගින් ) හා සාමය ස්ථාපිත කිරීම සදහා පිහිටුවා ඇති පොලිසිය වැනි ආයතනයක් නව දිගු කාලීන නීතී හදුන්වා දීම කොතරම් රටේ පවතින නීතියට අනුකූලද යන්න පිලිබදවයි.

මා දන්නා පරිදී පොලිස් දෙපාර්තමේන්තුවට රඨ වාහන සහ ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා කෙටි කලකට බල පවත්වන පරිදි නීතී අනුමත කරන ආයතනයකින් හෝ උසාවි නියෝගයකින් තොරව නීතී හදුන්වා දිය හැක.නමුත් මෙම නීතිය හදුන්වා දී ඇත්තේ රටේ පවතින නීතී පද්ධතියෙන් භාහිරව බව පෙනේ එම නිසා මේ නව නීතියෙත් මර්වින් ගොයියාගේ එලවළු පොල්ලෙත් මහ ලොකු වෙනසක් නැත.මෙය රටේ ආණ්ඩුකම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලඝනය කිරීමක් නොවන්නේද ?

මොහොතකට මෙම නීතිය රටේ බලපවත්නා නීතියට අනුකූල යයි උපලක්පනයක් කරමු.මෙම නීතිය අනුව මෙය බලපැවැත්වෙන්නේ පාසල් ලමුන්ටය.ඩබ්ලිව් තුන කතුවරයා සදහන් කරන පරිදි තොරතුරු සහ දැනුම වෙත ලමුන්ට ලගා වීමට ඇති අයිතිය උදුරා ගැනීමකි.එය එසේ වූවත්  ලංකාවේ දැනට පවතින අධ්‍යාපන ක්‍රමය අනුව ලමුන්ට අවශ්‍ය දේ සියල්ල පෙල පොත් වල අච්චු ගසා ඇත.ලමුන්ට අවශ්‍ය වන්නේ එම පොලපොත් පත අටට සිදවා යහමින් සීනී දමා බීම පමණි.දැනට පවතින මුදිත මාධ්‍යත් ගුරුවරුත් අද පාසල් ලමුන්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ පරම පැතුම වන “විභාග ගොඩ දා ගැනීමට ” ප්‍රමාණවත්ය.

එසෙනම් ජංජාල කඩ කෙරෙහි ලමුන් මෙතරම් ආකර්ෂණය වන්නේ මක් නිසාද යන්න සැලකිය යුතු කරුණකි.බොහොමයක් ලමුන් තම පාඩම් කටයුතු සදහා අවශ්‍ය තොරතුරුත් , විනොදාංශ ( මූණපොත , බ්ලොග් කරනය , ක්‍රීඩා ) සහ සංනිවේදන ( වි- තැපෑල ) සදාහා අන්තර්ජාලයේ පිහිට පතන බව අමුතුවෙන් කිවයුතු නැත.එමෙන්ම තවත් ලමුන් තම දැනුම පිපාසය ( අධ්‍යාපනික නොවන කරුණු සහ අතිශ්‍ය පෞද්ගලික සමහර විට ලිංගික කරුණු ) සංසිදවා ගැනීමට අන්තර්ජාලය භාවිතා කරයි.බොහොමයක් වූ මෙවැනි ජංජාල කඩ පිහිටා ඇත්තේ නගරයේ අදුරු මුලුවලය.අවිධිමත් ලෙස කලමණාකරනයකින් යුක්ත මෙවැනි ස්ථානවල බොහොමයක් විට සිදුවන්නේ එම ස්ථානයට නියමිත කරුණු නොවන බව කීමට අවශ්‍ය නැත.

මේ සදහා අදාල පාර්ෂවයන් හෝ පොලිස් නිලධාරියා(ඔහුට බලය ඇත්නම් ) ගත යුතුව තිබුනේ ලමුන්ට නිතී දැමීම නොව මෙවැනි ජංජාල කඩ තුල සිදුවන අකටයුතුකම් නැවත්වීම නොවන්නෙද ? මේ සදහා අඩුම තරමේ ක්‍රමවත් ලෙස ජංජාල කඩ ලියාපදිංචිකර එවා යම් ආකාරයක ප්‍රමිති කරනයකට භාජනය කලේ නම් මෙලෙස කැකිල්ලේ නීතී දැමීමට අවශ්‍ය නොවන බව ලේඛකයාගේ අදහසයි.

ශ්‍රී ලංකාවේ නීතී පද්ධතිය හමුවේ තමාගේ හෝ නිරුවත් පිංතූර ලග තබා ගැනීම අපරධයක් ලෙස හදුන්වයි.තරුණ ලමුන් විශේෂයෙන් අවුරුදු 12 සිට 20 දක්වා වූ ලමුන් ලිංගිකත්වය , නිරුවත කෙරෙහි දක්වන උනන්දුව අති මහත්ය.එයට හේතුව මිනිස් සිරුරේ සිදුවන කායික සහ මානසික පරිනත වීමේ ක්‍රියාවලියයි.එය ඔබටත් මටත් සැමටත් එකසේ පොදුය.එය එසේ නොවන්නේනම් වෛද්‍යවරයකු හමුවී උපදෙස්ගත යුතුතරම් ප්‍රශ්ණයකි.

වැඩිහිටියන්ගෙන් හෝ අදාල පුද්ගලයන්ගෙන් තමාට අවශ්‍ය දැනුම එසේ නැත්නම් තමාගේ කුතුහලය සංසිදවා ගැනීමට නොහැකි වූ කල ළමුන් පෙලබෙන්න ඊලග හොදම දෙය වෙන පත් පොත්ය එසේ නැත්නම් අන්තර්ජාලයයි.මොවුන්ට අවශ‍ය වන්නේ දැඩි නීතී රීතී නොව නිදහසේ තම කුතුහලය එසේ නැත්නම් මේ “ප්‍රසිද්ධියේ කතා නොකල  යුතුයයි සම්මත ” දේ පිලිබද කතා කිරීමටය.ඒ සදහා මෙවැනි දෙකයි පනහේ අදහස්වලට වඩා පරිනත වූ අදහසක් අවශ්‍යයි.නමුත් තරුණියකට තමාගේ සැමියාගේ අතින්වත් අල්ලාගෙන පාරේ යා නොහැකි සමාජයක මෙවැනි දෙයක් කොතරම් ප්‍රායෝගිකද යන්න ගෙන එන්නේ තවත් එක් ප්‍රශ්නාර්ථයක් පමණි.

Written by ක්ෂිතිජ විජේමාන්න | විත්ති

2011 මාර්තු 5 at ප.ව. 2:29